Friday, July 26, 2013

Provincial Counsil

කිසිම පළාත් සභාවකට තම හමුදාවක් පිහිටුවා ගැනීමට ඉඩ දෙන්නේ නෑ



 ඇමති බැසිල්  THE HINDU  පුවත්පතට කියයි

පොලිස් බලතල බෙදාදීම මගින් කිසි විටෙක පළාත් සභාවකට තම හමුදාවක් පිහිටුවා ගැනීමට ඉඩ නොදෙන බව ඉන්දියාවේ ද හින්දු පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිදු කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබේ. 

දෙමළ ජාතික හමුදාව උතුරු නැඟෙනහිර පළාත් සභාවේ බලයට පත් ඊපීආර්එල්එෆ් සංවිධානය විසින් සංශෝධනය නොපිළිගත් හා මැතිවරණය වර්ජනය කළ එල්ටීටීඊ සංවිධානයෙන් ආරක්ෂා වීම සඳහා නිරර්ථක උත්සාහයක යෙදෙමින් නිර්මාණය කොට ගන්නා ලද හමුදාව පිළිබඳ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා පැවසූයේ අනාගත උතුරු නැඟෙනහිර පළාත් සභාවක් එය ම නොකිරීම වැළැක්වීමට නීතියක් නොමැති බව යි. උතුරු පළාත් සභාව තවත් හමුදාවක් පිහිටවුව හොත් ශ‍්‍රී ලංකාවට තවත් යුද්ධයකට මුහුණදිය හැකි දැ යි අමාත්‍යවරයා ප‍්‍රශ්න කෙළේ ය.

දෙමළ ජනතාව ගේ ආයුධ සන්නද්ධ අරගලය දැන් අතීතයට එක් වූවක් ය යන තර්කය ද ජනාධිපතිවරයාට  ඕනෑ ම අවස්ථාවක පළාත් සභාවලට පැවැරුණු බලය ආපසු පවරා ගත හැකිය යන තර්කය ද ඔහු ප‍්‍රතික්ෂේප කෙළේ ය.

ශ‍්‍රී ලංකාවේ පවතින අනෙකුත් පළාත් සභාවලට ව්‍යවස්ථාමය බලතල තිබුණ ද ඒවායෙහි වෙන ම පොලිස් බලඇණි නොපවතින නමුත් දෙමළ ජාතික සන්ධානය පළාත තුළ නීති බලාත්මක කිරීමේ පාලනය තිබිය යුතු බව විශ්වාස කරයි.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමති අපේක්ෂකයා තෝරාගැනීම අමාත්‍යවරයා ප‍්‍රශ්න කෙළේ ය. ඔවුන් යෝජනා කරන විග්නේශ්වරන් මහතා බාහිර බලවේගයක් බවත් ඔහු උතුරේ දෙමළ ජනතාව නියෝජනය නොකළ බවත් අමාත්‍යවරයා පැවැසී ය. දෙමළ ජාතික සන්ධානය මැතිවරණය ජය ගත හොත් එය මධ්‍යම රජය සමග ගැටුම් ඇති වීමට හේතුවක් වනු ඇතැ යි අමාත්‍යවරයා අනාවැකි පළ කෙළේ ය.

රජය දෙමළ ජනතාවට සියලු දේ මාර්ග, දුම්රිය සේවය, ජලය, විදුලිය, පාසල්, රෝහල් ලබා දී ඇතැ යි රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. කිසිවක් ලබා දීමට පොරොන්දු වීමට නො තිබිය දී දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවක් විසින් ඔවුනට හෝ රජයට හෝ ඉටු කළ නොහැකි වෙනත් හැඟීම්බර ගැටලු වෙත ජනතාව පොළඹවනු ඇත.

ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සඳහා හේතු වූ 1987 ඉන්දු-ලංකා ගිවිසුම පිළිබඳ නව පෙරැළියක් කරමින් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කෙළේ පළාත් සභාවලට පොලිස් බලතල පැවරීම එම ගිවිසුමට එරෙහි ව යාමක් බව යි.

ගිවිසුමෙහි 2.10 ඡේදයට අනුව වෙනත් ප‍්‍රදේශවල මෙන් ම උතුරු නැඟෙනහිර ද නීතිය බලගැන්වීම සඳහා එකම සංවිධානය හා යාන්ත‍්‍රණය භාවිත කළ යුතු බව දැක්වෙන බැවින් ඒ අනුව මුළු දිවයිනට ම එක් පොලිස් බලඇණියක් පමණක් පැවතිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

පොලිස් බලතල පැවැතිය යුත්තේ එක් පොලීසියකට පමණක් බවත් වෙනත් යාන්ත‍්‍රණයක් නොමැති බවත් ගිවිසුමෙහි පැහැදිලි ව සඳහන් වන බව ඔහු අවධාරණය කෙළේ ය. එ බැවින් පළාත තුළ වෙන ම පොලිස් බලඇණියක් පැවතිය නොහැකිය.

කිසිදු ව්‍යවස්ථාමය විධිවිධානයක් ස්ථිර නොවන බවත් ලෝකය පුරා ව්‍යවස්ථා සංශෝධනය වීම් සිදු වන බවත් රාජපක්ෂ අමාත්‍යවරයා පැවැසී ය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉන්දියා ශ‍්‍රී ලංකා සබඳතාවනට බලපෑමක් සිදු ව ඇති දැ යි නැඟුණු පැනයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවැසුවේ දෙ රටෙහි දැක්ම පිළිබඳ ව දෙරට ම හොඳ අවබෝධයකින් පසු වන බව යි. මෙය ශ‍්‍රී ලංකාවේ ගැටලුවක් බවත් එය ශ‍්‍රී ලංකාව විසින් ම විසඳාගත යුතු බවත් ඔහු පැවසීය.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී දෙවසරක් ම ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහි ව ඡන්දය ප‍්‍රකාශ කිරීම අප ගේ සම්බන්ධතාව පිළිබඳ ව දැඩි සිත් තැවුලට හේතු වුව ද එය අභ්‍යන්තර පීඩනය හේතුවෙන් වූවක් බව අවබෝධ කර ගනිමින් ශ‍්‍රී ලංකාව එය හොඳින් කළමනාකරණය කරගත් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තව ද තමිල්නාඩුවේ දී ශ‍්‍රී ලංකික ජනයා හා බෞද්ධ භික්ෂූන් ප‍්‍රහාරයනට ලක් වූ අවස්ථාවේ ශ‍්‍රී ලංකාව ඒ පිළිබඳ ව එදිරිවාදී ව ක‍්‍රියා නොකළ බව ද අමාත්‍යවරයා පැවසීය.

ස්වෛරී රාජ්‍යයන් දෙකක් හා දිගු කාලීන මිත‍්‍රත්වයක් සහිත රාජ්‍යයන් දෙකක් වශයෙන් අප එකිනෙකා හොඳින් අවබෝධ කරගත යුතු ය. අපගේ ජනතාව ඉන්දියාව පිළිබඳ ව මනා අවබෝධයකින් යුත් අතර එය ඉන්දියාව අවබෝධ කරගත යුතුයැ යි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා තවදුරටත් පැවසී ය.

රාජපක්ෂ අමාත්‍යවරයා අවසන් වශයෙන් කියා සිටියේ ශ‍්‍රී ලංකාව තුළ සාමකාමී පරිසරයක් පැවතීම ඉන්දියාවේ රජයට පමණක් නො ව තමිල්නාඩුවේ ව්‍යාපාරිකයන් ද ඇතුළු ඉන්දීය ව්‍යාපාරික ප‍්‍රජාවට ද යහපත් වන බවයි.


Wmqgd .ekSu rcfha m%jD;a;s fomdra;fuska;=j


No comments:

Post a Comment