Friday, July 26, 2013

UK Parlimentarians Meet Hon Speaker Sri Lanka Parliament


ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සංහිඳියාව ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රසාදය




මහා බ්‍රිතාන්‍ය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමත් ගරු කතානායක තුමත් අපත් අතර අද පැවති සාකච්ඡාවේදී විවිධ පක්ෂ නියෝජනය කරන මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලංකාවේ ඇතිව තිබෙන, ඇතිවේගෙන යන සංහිඳියාව සහ  ඒ වගේම සංවර්ධනය පිළිබඳව ඉතාම පැහැදීමකින් කතා කළ බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

මෙරට සංචාරයක නිරත මහා බ්‍රිතාන්‍ය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමක් අද (26) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී කතානායක චමල් රාජපක්ෂ මහතා, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සහ නියෝජ්‍ය කාරක සභාපති මුරුගේසු චන්ද්‍රකුමාර් මහත්වරුන් හමුවීමෙන් අනතුරුව ඒ පිළිබඳ ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය.

එම හමුව පිළිබඳ ව තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය කතානායකවරයා; “අපේ රට ත්‍රස්තවාදය අවසන් කරලා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් ජනතාවගේ හිමිකම් ආරක්ෂා කරමින් යන ගමන පිළිබඳ ව ඒ අයගේ යහපත් ප්‍රතිචාර ඇති බව ප්‍රකාශ කරනු ලැබුවා. ඒ පිළිබඳ ව අපි ඇත්තටම පාර්ලිමේන්තු කණ්ඩායම හැටියට එරට නියෝජනය කරන ගරු කතානායකතුමා සහ සියලු දෙනා සතුටට පත්වුණ බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සම්මේලනය ඉතාම සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම්ව තිබෙන බව දකින බවත් ඔවුන් ප්‍රකාශ කළා. ලාංකිකයන්ගේ මිත්‍රශීලීභාවය හා ආගන්තුක සත්කාරය පිළිබඳ ව මහා බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරුන් ඉතා ම ඉහළින් ප්‍රකාශ කළා.යැයි කීය.

එම කණ්ඩායමේ නායකත්වය උසුලන කන්සර්වේටිව් පක්ෂයේ Eleanor Laing මහත්මිය සමඟ කම්කරු පක්ෂයේ Simon Danczuk, කන්සර්වේටිව් පක්ෂයේ Jonathan Djanogly, කම්කරු පක්ෂයේ Baroness Hayter of Kentish Town සහ Kerry McCarthy ද කන්සර්වේටිව් පක්ෂයේ Lord Sheikh යන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් ද දූත කණ්ඩායමේ ලේකම්වරිය ලෙස අන්තර් ජාතික සබඳතා නිලධාරිනි Mariam El-Azm මහත්මිය ද මෙම හමුවට එක් ව සිටියහ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම හමුවට එක් ව සිටියේය. මෙම මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම අද පාර්ලිමේන්තුවේ දී දිවාභෝජන සංග්‍රහයකට ද එක්වුණ අතර අදින් සිය සංචාරය අවසන් කිරීමට ද නියමිතව තිබේ. .

මෙම මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම අද පාර්ලිමේන්තු සභා රැස්වීම නරඹන්නට ද විශේෂ අමුත්තන්ගේ ගැලරියට පැමිණි අවස්ථාවේ මූලාසනයේ සිටි නියෝජ්‍ය කතානායකවරයා ඒ බව සභාවට දැනුම්දී එම කණ්ඩායමේ නායක එලිනර් ලැන්ග් මහත්මිය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සාදරයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කළේය



Wmqgd .ekSu රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු fjks

No comments:

Post a Comment